හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස් ලෙස මියගිය 29 හැවිරිදි තරුණයාගේ මොළය අභ්යන්තරයේ රුධිර වහනයක් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
ඊට අමතරව ඔහුගේ පිට, කලවා සහ තට්ටම් ප්රදේශවල බරපතළ තැලුම් තුවාල හඳුනාගෙන ඇති අතර, එම තුවාල හේතුවෙන් ශරීර අභ්යන්තරයේ අධික රුධිර වහනයක් සිදුව ඇති බවද වෛද්යවරුන් නිරීක්ෂණය කර ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිරිවන්තුඩුව, මූනමලේවත්ත ප්රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නමැති එක්දරු පියෙකි.
කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අද (27) දින පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, මියගිය තරුණයාගේ සිරුරේ කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට පියවර ගෙන තිබේ.
ඉකුත් 25 වන දින ‘අයිස්’ මත්ද්රව්ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත හෝමාගම පොලීසිය විසින් මෙම තරුණයා සහ තවත් 34 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලීසිය විසින් සිදුකළ අමානුෂික පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුවූ බවට මියගිය අයගේ මව මාධ්ය හමුවේ දැඩි ලෙස චෝදනා කළාය.
“පොලිස් භාරයට ගන්නකොට මගේ දරුවා හොඳට තමන්ගෙම දෙපයින් ඇවිදගෙන ගියේ. ඊයේ උදේ අපි පොලීසියට ගිහින් බලන් ඉද්දි අපරාධ විමර්ශන අංශයට දාලා පැය එකහමාරක් තිස්සේ පහරදීලා තියෙනවා. පොලිසියේ හයදෙනෙක් එකතුවෙලා මගේ කොල්ලව අතපයින් උස්සලා, බිම දිගේ ඇදගෙන ඇවිත් සිරමැදිරියට අතඇරියා. ඒ වෙනකොටත් එයාගේ ඔළුවෙන් ලේ පෙරාගෙන ගලනවා. ඇඟිලි නිල් වෙලා තිබුණේ. මම අඬලා ඉල්ලුවා සිද්ධාර්ථ තෙල් ටිකක් ගාන්න හරි, පැන්ඩෝල් පෙත්තක් හරි දෙන්න කියලා. ‘මොකුත් ඕන නෑ.. ළඟට යන්න බෑ’ කියලා පොලීසිය අපිට තර්ජනය කළා. වතුර උගුරක්වත් බොන්න දුන්නේ නෑ. උදේ ඉඳන් රෝහලට ගෙනියන්න කියලා අපි කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වත් ඇහුවේ නෑ. හවස් වෙලා හොස්පිටල් එකට අරන් යනකොටත් මගේ දරුවා මැරිලා…” යැයි මව හඬා වැටෙමින් පැවසුවාය.
රෝහලේදී සිදුවූ කරුණු වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී රෝහල් පොලීසියේ නිලධාරීන් සිය ජංගම දුරකථනය ද බලහත්කාරයෙන් උදුරාගත් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මියගිය අයගේ සහෝදරයා පවසන්නේ පෙරවරු 10ට පමණ සිරමැදිරියට ඇදගෙන ආ තම සහෝදරයා කිසිදු ප්රතිචාරයක් නොදක්වා බිම වැටී සිටි බවත්, සිරමැදිරියේ සිටි අනෙක් පුද්ගලයා වතුර ස්වල්පයක් මුහුණට ඉස්වද ඔහු යථා තත්ත්වයට පත් නොවූ බවත්ය. පසුව පොලිස් ජීප් රථයකින් හෝමාගම රෝහලට රැගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් කාර්ය මණ්ඩලය තහවුරු කර ඇත.
මෙම ඝාතනය සහ ඔහු සමඟ අත්අඩංගුවට ගත් 34 හැවිරිදි අනෙක් තරුණයාට පොලිස් නිලධාරීන් සිදුකළ අමානුෂික වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වෙන වෙනම පැමිණිලි දෙකක් ගොනු කර තිබේ.
අනෙක් තරුණයාගේ බිරිඳ කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ, තම සැමියාට පොලීසිය තුළදී අමානුෂික ලෙස පහරදී, අධිකරණ වෛද්ය නිලධාරීවරයෙකු හමුවට හෝ නීතිඥ සහාය ලබාගැනීමට හෝ ඉඩ නොතබා සෘජුවම බන්ධනාගාරගත කර ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් මතුවීමත් සමඟ ක්රියාත්මක වූ පොලිස් දෙපාර්තමේන්තුව, හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මෙම අමානුෂික ඝාතනයට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව නීතිය තදින්ම ක්රියාත්මක කරන ලෙස පවුලේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.


