මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රාජකාරියේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ සහ ආබාධිත තත්ත්වයට පත් බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් රුපියල් මිලියන 5ක් දක්වා වූ විශේෂ වන්දි මුදලක් ගෙවීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සාමාන්ය රාජ්ය පරිපාලන චක්රලේඛ ප්රතිපාදන යටතේ හිමිවන වන්දියට අමතරව මෙම විශේෂ මුදල ලබාදීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ සෑම නිලධාරියෙකු වෙනුවෙන්ම සහ පූර්ණ ආබාධිතභාවයට පත්වූ නිලධාරියෙකු සඳහා රුපියල් මිලියන 05 බැගින් වන්දි හිමිවේ. මීට අමතරව උපරිම ඉපයීමේ හැකියාව අහිමිවීම 100%ක් ලෙස සලකන අර්ධ ආබාධිත නිලධාරීන් සඳහා රුපියල් මිලියන 04 බැගින්ද, තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරීන් වෙනුවෙන් රුපියල් මිලියන 03 බැගින්ද විශේෂ වන්දි ලෙස පිරිනැමෙනු ඇත.
මීට සමගාමීව බන්ධනාගාර උපක්රමික බලකාය ශක්තිමත් කිරීම සඳහා බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීමටත්, එම බලකායට අවශ්ය නවීන උපකරණ, විධිමත් පුහුණුව සහ මූලස්ථානයක් ස්ථාපිත කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
කෙසේ වෙතත්, රජයේ භාරයේ පසුවෙද්දී මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත් රැඳවියන් සම්බන්ධයෙන් වගවීමක් හෝ වන්දියක් නොමැතිවීම පිළිබඳව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මාධ්යවේදීන් ප්රශ්න කර සිටියේය. රජයේ රැකවරණය යටතේ සිටියදී ඝාතනයට ලක්වූ රැඳවියන් සම්බන්ධයෙන් වගකීමක් රජයට නොමැතිදැයි සහ නිලධාරීන්ට පමණක් මෙලෙස වන්දි ලබාදීම වෙනස්කොට සැලකීමක් නොවේදැයි මාධ්යවේදීන් එහිදී කැබිනට් මාධ්ය ප්රකාශක වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් අමාත්යවරයා සඳහන් කළේ, අදාළ කැබිනට් පත්රිකාව පදනම් වී ඇත්තේ රාජකාරියේදී විපතට පත් බන්ධනාගාර නිලධාරීන්ට සහන සැලසීමට පත්කළ කමිටු වාර්තාව මත පමණක් බවයි. රාජ්ය සේවකයන් ලෙස ගැටුම පාලනය කිරීමට මැදිහත් වූ නිලධාරීන් රැකබලා ගැනීම රජයේ ප්රමුඛ වගකීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
රැඳවියන්ගේ මරණ සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණ ක්රියාමාර්ග සහ පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී ක්රියාමාර්ග ගන්නා බවත් පැවසූ අමාත්යවරයා, රැඳවියන් සඳහා වන්දි ගෙවීමක් පිළිබඳව මෙතෙක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වී නොමැති බවද වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය ජූලි මස 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ හටගත් දරුණු ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් සියයකට වැඩි පිරිසක් බරපතළ තුවාල ලැබූහ.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සලකා බැලූ මීගමුව මහේස්ත්රාත් ශිලනි පෙරේරා මහත්මිය, මෙම මරණ ගිනි අවි සහ මොට ආයුධ ප්රහාර මඟින් සිදුවූ ‘සාපරාධී ඝාතනයන්’ බවට නිරීක්ෂණය කර තිබිණි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිනීමැරුම් චෝදනා යටතේ පුළුල් පරීක්ෂණයක් පවත්වන අතර, කාන්තාවන් 25 දෙනෙකු ඇතුළු සැකකරුවන් 106 දෙනෙකු ලබන ඔක්තෝබර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මියගිය රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයේදී පෙනී සිටියි.


