Friday, December 26, 2025
23.9 C
Sri Lanka

මරණ දඩුවම තිබෙන තැනම තියමු!

වත්මන් ආණ්ඩුවේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණය සහ සංවිධානාත්මක අපරාධ මර්ධණ වැඩසටහන දිනෙන් දින ඉදිරියට යද්දි මරණ දඩුවම නැවැත බලාත්මක කරවීමේ කතිකාවක් සමාජගත වෙමින් තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා එක්සත් ජනපදයේ කළ සංචාරයෙදිද ඒ පිළිබදව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්ණ කෙරිණි. ඔහුගේ පිළිතුර වූයේ අපරාධවලට මරණයෙන් දඩුවම් දීම ශිෂ්ඨ සම්පන්න නොවන බවයි.

පසුගිය දිනක බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රසිද්ධ සභාවකදි ද කියා තිබුනේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දීම මත්ද්‍රව්‍ය අර්බුධයට විසදුම බවයි. ඔහු විසින් ගෙන ආ දත්තයන්ට අනුව මේ මොහොතේ මරණ දඩුවම නියම වූ පිරිමි සිරකරුවන් 805 දෙනෙක් සහ කාන්තාවන් 21 දෙනෙකු බන්ධනාගාරගත වී සිටිති. ඒ අතුරින් වයස අවුරුදු 18ට අඩු දරුවන් 5කි. බන්ධනාගාර කොමසාරිස්වරයා තම ප්‍රකාශය සාධාරණීකරනය කිරීමට මෙරට බන්ධනාගාර පද්ධතියේ ධාරිතාවට දරාගත නොහැකි තරම් රැදවියන් සිටින බවත් කියයි.

මත්ද්‍රව්‍ය සහ අපරාධ සංස්කෘතිය අහවර කිරීමට විසදුම මරණයද?
ශ්‍රී ලංකාව තවමත් නිළ වශයෙන් මරණ දඩුවම අහෝසි නොකළ රාජ්‍යයකි. නමුත්, අවසන් වරට මෙරටදී රාජ්‍ය විසින් සිරකරුවකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ 1976 වසරේදිය. ඉන් අනතුරුව ඉතිහාසයේ විවිධ අවස්ථාවල මරණ දඩුවම බලාත්මක කිරීමට රාජ්‍ය නායකයින් තීරණය කළ නමුත් එය නිළ වශයෙන් ක්‍රියාත්මක නොකිරිණි. 1999 වසරේදි එවකට ජනාධිපති ධුරය හෙබවූ චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ 2018 වසරේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මරණ දඩුවම බලාත්මක කිරීමට උත්සාහ කළද එය හකුළා ගැණුනි.

කෙසේ නමුත් ගත වූ දශක දෙක පුරාම නොනිළ වශයෙන් ශ්‍රී ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක වූ බව නොරහසකි. පොලිසිය විසින් අපරාධකරුවන්ව ආයුධ පෙන්වීමට රැගෙන යෑමේ නාටකය පෙන්වා මරණයෙන් කෙළවර කළ අවස්ථා බොහෝය. ශ්‍රී ලංකා පොලිසිය මේ තිර පිටපත යොදාගන්නේ අද ඊයේ සිට නොවේ. 1989 වසරේදි ජවිපේ නායකයකු වූ එච්.බී.හේරත් සගවා ඇති ආයුධ පෙන්වීමට ගොස් එහි නායක රෝහණ විජේවීරට වෙඩි තැබීමට උත්සාහ කළ විට පොලිස් වෙඩි පහරින් මිය ගිය බවට ප්‍රසිද්ධ කළේය. මෙලෙස ආයුධ පෙන්වීමට ගොස් සහ පහරදීම් හේතුවෙන් 2020 ජනවාරි 1 වැනිදා සිට 2025 මාර්තු 31 වැනිදා දක්වා ගත වූ කාලයේදි පොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරුවන්ගේ ගණන හතළිස් නවයකි (49). පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවල ඇතිවූ ගැටුම්වලින් මියගිය ගණන 30කි. ඒ අනුව ගත වූ වසර පහක කාලයේදි අපරාධකරුවන් යැයි සැකකෙරෙන පුද්ගලයින් 79 දෙනෙකු රාජ්‍යය විසින් මරණයට පත් කර තිබේ. 1876 සිට බෝගම්බර බන්ධණාගාර පෝරකයේ ක්‍රියාත්මක වූ මරණ දඩුවම 1976 දක්වා වසර සියයක කාලයේදි අධිකරණ තීන්දු අනුව එල්ලා මරණ ලද සිරකරුවන් ගණන 524කි. ඒ අනුව වසරකට නීතියට අනුව මරණ දඩුවම හිමිව ඇත්තේ දළ වශයෙන් 6කටත් අඩු ගණනකටය. කෙසේ නමුත් ගතවූ වසර පහේදි වසරකට 16 දෙනෙකු පොලිසියේ මැදිහත්වීමෙන් මරණයට පත්ව තිබේ. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම්වලින් මිය ගිය අපරාධකරුවන්ට අමතරවය.

මෙලෙස මෑත ඉතිහාසයේ වැඩි වැඩියෙන් අපරාධකරුවන් යැයි සැක කටයුතු පුද්ගලයින් ජීවිතක්ෂයට පත් කිරීම මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර පාලනයට හේතු වී ඇත්ද?

ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉදිරිපත් කරන දත්ත අනුව පෙනී යන්නේ සිදුව ඇත්තේ එහි විලෝමය බවයි. විශේෂයින්ම අන්තරාදායක විෂමත්ද්‍රව්‍යයක් වන අයිස් ව්‍යාප්තිය පසුගිය වසර කීපයේ තීව්‍රවී ඇත.

මේ වසරේ ජනවාරි පළමු දා සිට මේ මස 22 වැනිදා දක්වා ගත වූ කාලයේදි හෙරොයින් කිලෝ ග්‍රෑම් 1482ක්, අයිස් කිලෝ ග්‍රෑම් 2542ක්, ගංජා කිලෝ ග්‍රෑම් 14434 ක් සහ තවත් මත් පෙති, කොකේන්, හෂීස් ඇතුළු මත්ද්‍රව්‍ය තොග පිටින් හසු වී ඇත. 2024 දී පොලිසිය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 832.3 ක්, අයිස් කිලෝග්‍රෑම් 1,364 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 8,359 ක්  අත්අඩංගුවට ගැනීම් ද වාර්තා කර තිබේ. 2023 දි එය සටහන් වූයේ හෙරොයින් කිලෝග්‍රෑම් 850 ක්, අයිස් කිලෝ ග්‍රෑම් 83ක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 10,200 ක් ලෙසය. ඒ අනුව කෙතරම් ඝාතනය කිරීම් සිදුකළද මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය තව තවත් වර්ධනය වනවා විනා අඩුවක් නොවූ බව පැහැදිළිය. එසේම මත්ද්‍රව්‍ය සහ ඒ හා සම්බන්ධ අපරාධ ජාලයේ සාමාජිකයින් ගණනද දින දින ඉහළ යමින් තිබෙන බව පසුගිය වර්ෂවල වාර්තා සසදා බැලීමේ දි පැහැදිලි වන්නේය.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ජාලය බිදවැට්ටවීමට මරණය යොදා ගත් ආසන්න උදාහරණය සහෝදර ආසියාතික දූපත් රාජ්‍යයක් වන පිලිපීනයයි. 2016 වසරේදි එරට ජනාධිපතිධුරයට පත්වන රොඩ්රිගෝ ඩුටාර්තේ රට පුරා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූවන්ට එරෙහිව නිල වශයෙන් මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක් ඇරඹු අතර එතැන් සිට 2022 දක්වා බලයේ සිටි කාලයේදි නිල වශයෙන් 6000කට අධික පිරිසක් ඝාතනය කළ බව පිළිගත්තේය. නමුත් නොනිළ වාර්තාවලට අනුව සිදුව ඇති ඝාතන ගණන 30,000කට ආසන්න බව කියැවෙයි. ඔහුගෙන් අනතුරුව බලයට පත් වූ බොංග්බොංග් මාකෝස්ද ඩුටාර්තේගේ අඩි පාරේ යමින් මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය පවත්වාගෙන යන නමුත් පුද්ගල ඝාතන හරහා මත්ද්‍රව්‍ය මැඩලීමට තවමත් නොහැකි වී ඇත.

නිළ වශයෙන් මෙරට මරණ දඩුවම ක්‍රියාත්මක නොවූවද ඉහත අප පෙන්වා දී ඇති ආකාරයට අනීතිකව අපරාධකාරයන් යැයි සැක කරන පුද්ගලයින්ගේ ජීවිත විනාශ කිරීම දිගින් දිගටම සිදුව ඇති අතර එය කිසිසේත්ම මෙරට අපරාධ සංස්කෘතිය වෙනස් කිරීමට හෝ මත්ද්‍රව්‍ය පාලනයට උපකාර වී නොමැති බව පැහැදිලි සත්‍යයකි.

මරණ දඩුවම කෙතරම් සදාචාරාත්මකද?

ලෝක මට්ටමින් ගත්විට ප්‍රධාන වශයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක වන රටවල් ලෙස හදුනාගත හැක්කේ චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානය, සෞදි අරාබිය, පකිස්තානය වැනි රටවල්ය. මරණ දඩුවම හේතුවෙන් ඔවුන් රටක්, සමාජයක් ලෙස සංස්කෘතිකව වඩාත් යහපත් තැනකට පැමිණ සිටින්නේ යැයි කිව හැකිද? ලොව පුරා සිදු කළ පර්යේෂණවලට අනුවද මරණ දඩුවම සහ අපරාධ අඩුවීම අතර කිසිදු සහ සම්බන්ධයක් නොමැති බව තහවුරු කර ඇත්තේය. සමාජයක් ලෙස අප වඩාත් සුරක්ෂිත කරනුයේ ශක්තිමත් නීති පද්ධතියක්, කාර්යක්ෂම ප්‍රතිපත්ති, අවම වංචා දූෂන සහ යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමෙන්ය. දරුණු දඩුවම් තුලින් අපරාධ විසදිය හැකිය යන සිද්ධාන්තය කිසිවිටෙකත් සත්‍යය නොවන බව තවමත් මරණ දඩුවම ක්‍රියාත්මක වන රටවල් සහ මරණ දඩුවම ඉවත් කළ ස්කැන්ඩිනේවියානු රටවල්වල තත්ත්වයන් සංසන්දනයෙන් තේරුම් ගත හැකිය.

එසේම, මරණ දඩුවම යනු නැවැත නිවැරදි කළ හැකි දඩුවමක් නොවේ. නීතියේ ආධිපත්‍යය කෙතරම් ප්‍රභල වුවද ඇතැම්විට ඉතා සුළු අතපසුවීමකින් නිවැරැදිකරුවකුගේ ජීවිතයක් අහිමි වී යා හැකිය.

අනිත් අතට ජාත්‍යන්තර වශයෙන් මේ වන විට මරණ දඩුවම සම්බන්ධයෙන් දරණ මතය පැහැදිළිය. 2024 වසර වනවිට රාජ්‍යයන් සියයකට වඩා මරණ දඩුවම පූර්ණ වශයෙන්ම අහෝසි කර අවසන්ය. ලෝකයෙන් තුනෙන් දෙකකටත් වඩා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් වැළැකී සිටිති. ශ්‍රී ලංකාව දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් සබදතා ගොඩනගාගෙන සිටි රාජ්‍යයන් බහුතරයක් ගමන් කරන්නේ මරණ දඩුවම ඉවත් කිරීමේ මාර්ගයේය. අප නැවැත මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම එම සබදතාවලට සහ මේ වනවිට ජාත්‍යන්තර තලයේදි ශ්‍රී ලංකාවට එල්ලවන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලටද පියාපත් ලැබීම අනිවාර්යය.

මරණ දඩුවමට වඩා සදාචාරාත්මක සහ වඩාත් මානුෂික දඩුවම් ක්‍රම බොහෝ ඇත. ජීවිතාන්තය දක්වා සිර දඩුවම සහ පුනරුත්ථාපන වැඩ සටහන් හරහා අපරාධවලට සම්බන්ධ වූවන් වඩාත් යහපත් මිනිසුන් බවට පත්කිරීම කළ නොහැක්කක් නොවේ. අසීරු නමුත් උත්සාහ කළ යුතු ක්‍රමවේදයක් ලෙස අප ඒ සදහා පෙළ ගැසිය යුතුය. අප අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ නීතිය පමණක් නොවේ. අපි කුමන ආකාරයක ජාතියක් ලෙස ඉදිරියට යා යුතුද යන්න නැවැත අපගෙන්ම ඇසිය යුතුය. ඇසට ඇසක් ඉල්ලන ජාතියක්ද එසේත් නැතිනම් යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් වඩාත් මානුෂික ක්‍රමවේදයකින් පිළිතුරු සොයන ජාතියක් ලෙස අනාගතයට යමුදැයි අප නැවැත නැවැතත් ඇසිය යුතුය.

මරණ දඩුවම අතීතයට අයිතිය. අනාගතයට එහි ඉඩක් තැබිය යුතු නැත. භීෂණයට ප්‍රතිඋත්තරය භීෂණය නොවේ. 

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron