හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදු කළ විදේශ සංචාර සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාල ප්රකාශයක් ලබාදීම සඳහා අද ( අගෝස්තු 22) පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදීය.
මේ සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබුණු අතර, ජුලි 24 වන දින කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබේ.
2022 ජුලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්රමසිංහ විදේශ සංචාර 23 කට සහභාගි වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්රකාශ කොට තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අයවැය ශීර්ෂය යටතේ , හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ එක් එක් වර්ෂය සඳහා වැය කර ඇති වියදම් පහත පරිදිය.
2022 වර්ෂයේදී රුපියල් 129,316,753
2023 වර්ෂයේදී රුපියල් 577,964,372
2024 වර්ෂයේදී රුපියල් 300,065,855


