බෙංගාල බොක්කේ වර්ධනය වූ ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුව දක්වා ප්රබල වී ඇති අතර, අද (26) රාත්රිය වන විට එය චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමේ අවදානම හමුවේ නාවික හා ධීවර ප්රජාව සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 9.30ට නිකුත් කෙරුණු මෙම විශේෂ කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 12ක කාලය සඳහා බලපැවැත්වේ.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති මෙම පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බවයි. අද රාත්රී 11.30 පමණ වන විට බටහිර මධ්යම බෙංගාල බොක්ක මුහුදු සීමාවේදී මෙය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80 සිට 100 දක්වා ඉහළ යා හැකි අතර, මීටර් 3ත් 4ත් අතර උසකින් යුතු රළ පහරවල් සමඟ මුහුද ඉතා රළු විය හැක. එසේම ගිගුරුම් සහිත තද වැසි ද ඇතිවිය හැකිය.
මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු කලාපවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙස දැනුම් දී තිබේ. දැනටමත් එම මුහුදු ප්රදේශවල රැඳී සිටින පිරිස් වෙත වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසත්, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් දෙයි.

