කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදී ඇති විශ්වාසභංග යෝජනාව සංශෝධනය කර ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂය ඉල්ලීමක් කර ඇති අතර, විපක්ෂය ඊට මෙතෙක් කිසිදු ප්රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.
අදාළ විශ්වාසභංග යෝජනාව තුළ අධිකරණයේ විභාග වන නඩුවලට අදාළ කරුණු ඇතුළත් බව පවසමින් ආණ්ඩු පක්ෂය මෙම සංශෝධනය ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, සිය යෝජනාවේ අධිකරණ නඩුවලට අදාළ කරුණු අඩංගු නොවන බැවින් සංශෝධිත යෝජනාවක් ඉදිරිපත් නොකළ යුතුය යන්න විපක්ෂයේ මතය වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
මේ අතර, විපක්ෂය ඉදිරිපත් කළ මෙම විශ්වාසභංග යෝජනාව මේ වන විටත් පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර, කථානායකවරයා විසින් එය න්යාය පුස්තකයෙන් ඉවත් කර ඇති බවට පළවන මාධ්ය වාර්තා අසත්ය බව තහවුරු වේ. මේ පිළිබඳව කළ විමසීමකදී පාර්ලිමේන්තු මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය සඳහන් කළේ, න්යාය පුස්තකයට ඇතුළත් කළ යෝජනාවක් ඉවත් කළ හැක්කේ එය ඉදිරිපත් කළ පාර්ශවයට පමණක් බවත්, එවැනි ඉවත් කිරීමක් පිළිබඳව තමන් දැනුවත් නැති බවත්ය.
මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී එක්දින විවාදයක් ලබාදීමට ආණ්ඩු පක්ෂය එකඟතාව පළ කර තිබුණද, ඒ සඳහා දින දෙකක විවාදයක් අවශ්ය බවට විපක්ෂය ඉල්ලීමක් කර තිබිණි. ආණ්ඩු පක්ෂය අධිකරණයේ විභාග වන නඩු පිළිබඳ කරුණු මතුකරමින් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසිය යුතු බව ප්රකාශ කර ඇත්තේ ඉන් අනතුරුවයි.
එසේ වුවද, කථානායකවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසීම සඳහාද මෙතෙක් යොමුකර නොමැති බව වාර්තා වේ.


