ආන්දෝලනාත්මක එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (27) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, 2018 අංක 14 දරන අධිකරණ සංවිධාන පනත යටතේ මෙම අධිචෝදනා පත්රය ගොනු කර ඇති බවයි. මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් 59 දෙනෙකුගේ නම් සාක්ෂි ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, එයාර් බස් නඩුවට මෙන්ම ආන්දෝලනාත්මක ‘ක්රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයට මෝසම් පත්රයක් ගොනු කර තිබූ අතර, ජනාධිපති නීතිඥවරුන් අලි සබ්රි සහ සවේන්ද්ර ප්රනාන්දු යන මහත්වරුන් ප්රමුඛ නීතිඥ මණ්ඩලයක් සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.
එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සවේන්ද්ර ප්රනාන්දු මහතා පෙන්වා දුන්නේ, ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ වන විටත් දිනපතා දීර්ඝ නඩු විභාගයන් පැවැත්වෙන බැවින්, මෙම නඩුව විභාගයට ගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවයි.
ඉන් අනතුරුව කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(1) ව්යවස්ථාව උපුටා දක්වමින් දැඩි නෛතික තර්කයක් ඉදිරිපත් කළේය. සිද්ධියට අදාළ සියලු විමර්ශන මේ වන විට අවසන් කර ඇත්නම්, සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම කිසිසේත්ම යුක්තිසහගත නොවන බව ඔහු පෙන්වා දුන්නේය. අධිකරණයෙන් නිකුත් කරන ඕනෑම නොතීසියකට අනුව නියමිත දිනට පෙනී සිටීමට තම සේවාදායකයා සූදානම් බව පැවසූ ජනාධිපති නීතිඥවරයා, ඕනෑම දැඩි කොන්දේසියක් යටතේ හෝ නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා නඩුව පසුව කැඳවීමට නියෝග කළ අතර, ක්රිෂ් ගනුදෙනුව පිළිබඳ මෝසම සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු දැක්වීමට නියමිතව තිබේ.


